Wednesday, June 27, 2018

කහන කුඩු.


අපට ගමේ සතුරන් කිහිප දෙනෙක් විය. පිට ගමකින් පැමිණ ඉතා වටිනා ඉඩමක් තරමක් අඩු මිලට ගත් නිසා එය කඩා වඩා ගැනීමටත් සූරා කෑමටත් බලා සිටි අය සතුරන් වූවා මිසක, අපේ දෙමවුපියන් දැන හෝ නොදැන කල වෙන වරදක් වූයේ නැත. මේ සතුරන් අතරින් කාලානුරූපව මිතුරන් වූ අයද නැත්තේ නොවේ. අයෙක් එසේ නොවී, මල විටක ගෙනියන්නට මෙන් තණ්හාව පෙරදැරිව දැවෙමින් සිටිති.

එලෙස සතුරු කම් කල අය අතර, තවමත් ජීවත් වන එක්තරා පුද්ගලයෙකු සිටී. ඔහු ජීවතුන් අතර සිටින නිසා, ඔහුගේ නම මෙහි සදහන් නොකරමි. අප වතුර බොන ලිදෙහි බල්ලන් ඔබා නෑවීම, වත්ත උඩින් බීමත්ව ආයුධ පෙන්වමින් යෑම, වැට කඩොලු කැඩීම, ආදියෙන් නොනැවතී ඔහු දෙවරක් තාත්තා ඉලක්ක කර ගල් ප්රාහාර දෙකක්ද එල්ල කලේය. එක් ගලක් බිත්තියේ සිදුරක් ඇති කල අතර අනෙක ප්රදාන දොරෙහි දැඩි පැල්මක්ද ඇති කලේය. මේ කිසිවකින් තාත්තා සොලවන්නට බැරි වූ කල ඔහු දියත් කලේ ඉතාම තුච්ඡ වූ ප්රාහාරයකි. මේ පිලිඹදව කණගාටුදායක මතකයෙන් බිදකි.

එකල අප පවුලේ අන්තිමයා ඉපදී හෝ නැත. මට වයස අවුරුදු 08ක් මල්ලීට 06ක්ද නංගීට 04ක්ද වන්නට ඇත. අප එකල නිදා ගත්තේ පරන නිවසේ තිබූ ශාලාවක් වැනි විශාල කාමරයක එක පෙලට තිබූ ඇදන් කිහිපයකය.
තරමක් අබලන් තත්ත්වයේ තිබූ පැරණි නිවසේ වැසි දින වලදී ආරක්ශිතම කාමරය වූයේ එම කාමරයයි.

එක් දිනක් අප අවදි වන විට ඉවසාගත නොහැකි තරම් දැවෙන සුළු කැසිල්ලක් අපට දැනුනි. පොඩි උන් වූ අප දෝතින්ම ඇග කසමින් පෙරලී පෙරලී හැඩුවෙමු. අම්මාට සහ තාත්තාටද එලෙසම වේදනාවක් වූ නමුත් ඔවුන් අප දෙස අවදානය යොමු කලා මිස තමන්ගේ වේදනාවන් ගැන සිතුවේ නැත. මේ සිදුවූයේ කමක්දයි කිසිවෙකුට තේරුමක් තිබුනේ නැත. මේ සිද්දියේ මුල, මැද අග පිලිවෙලට මතක නැතත් එය අවසානයේ සිදු වූයේ මෙවන් දෙයකි.

තාත්තා පිටත් වී ගොස් ගමෙන් නෑදෑවන කිහිප දෙනෙක් කැදවාගෙන ආවේය. ඔවුන් අප ඉවත් කර මුලු නිවසම අතු ගා බැලූ විට දක්නට ලැබුනේ ලා රතු පැහැ බූවක් වැනි කුඩක් ජනෙල් කපොලු තිලින් නිවසට දමා ඇති බවයි. කහඹිලියා වැනි විශ සහිත සාකයක බූව වූ එය ඇගෙහි ගෑවුන විට සමට ඇලී පවතී. වැඩිහිටියන්ට වඩා කුඩා අයගේ සම සිනිදු නිසා එය වඩා බලපෑමක් ඇති කලේ කුඩා අපටයි. එම බූව ඉවත් කල හැකි එකම ක්රමය වූයේ පොල්තෙල් හා පිහිතලයක් වැනි තලයකින් සූරා දැමීමෙනි. මුලු නිවසම අතුගා, කිහිප වරක් සෝදා ඉවත් කල පසුය, එම වේදනාව දුරු වූයේ.

මේ සිද්දිය පිලිඹදව තාත්තා පොලිසි ගියත් සිදු වූ දෙයක් මට මතක නැත. එසේ නමුත් කල පුද්ගලයා තැන තැන වහසි බස් දොඩා පසුව ආරංචි විය.

පසුකාලීනව භීශන සමයේ මෙම පුද්ගලයා අවිගත් කණ්ඩායම් විසින් පැහැර ගෙන යන ලදී. අසීමිත වධබන්දනයන්ටද ලක්වී ඔහු පසුව නිවසට ආවේය. බිරිද ප්රසූත කල දරුවෙක්ද කුඩා කලම මිය ගියේය. පසුගිය දිනක බරපතල රිය අනතුරකට ලක්ව ඔත්පලව සිට දැනට දුක සේ කල් ගෙවයි. ඔහුගේ කිසිදු දරුවෙකු නිසි ලෙස අද්යාපනය ලැබුවේද නැත.

ඔහු වැපුරූ බිජුවට වල පල ඔහු විදිමින් සිටී.

ලුවිස් මාමා.


ලුවිස්  මාමා ජීවත් වූයේ අපේ වත්ත මායිම්ව පිහිටි කුඹුරේ එහා ඉවුරේ පිහිටි වරිච්චි නිවසකය. අපි වත්ත පහලට ගොස් සෙල්ලම් කරන ඇතැම් දිනක ලුවිස්මාමා වත්තේ වැඩ පලක නිරතව සිටී. අපි මහ හඩින් "ලුවිස් මාමේ" කියා කෑ ගසන්නෙමු. ලුවිස්මාමා "" කියා උත්තර දෙයි. අපේ කන්දොස්කිරියාව ඒකාකාරී වුවද උත්තර බැදීමෙන් වෙහෙසට පත්වන්නේවත් තරහ ගන්නේ වත් නැත, ලුවිස් මාමා .

ලුවිස් මාමා "මාමා" වන්නේ නෑ කමට නොවේ. ඔහුගේ රැකියාව රෙදි සේදීමයි. සුදු පොට්ටනියක කිලිටි හෝ සේදූ රෙදි පුරවාගෙන ගෙන්ගෙට ගොස් ජීවිකාව කල පවුලක අන්තිම පුරුක වූයේ ලුවිස් මාමා සහ නැන්දාය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ දරුවන් කුලී වැඩට යොමු වූවා මිසක, රෙදි සේදීමේ රස්සාව පුරුදු වූයේ නැත. රෙදි සෝදන්නන් "ඩෝබි", "අපුල්ලන්නන්" ආදී විවිද නම් වලින් හැදින් වූවද අපේ දෙමවුපියන් ඔවුන් හැදින්වූයේ ලුවිස් මාමා සහ නැන්දා වශයෙනි.ඔවුන් අපට සාම්ප්රදායිකව "සීයා" සහ "ආච්චි" වියයුතු වුවත් අපද ඔවුන් හැදින්වූයේ මාමා සහ නැන්දා ලෙසිනි. කුල මල සම්බන්දයක් අපට එකල වැටහුනේ නැත.

අපේ නිවසේ රෙදි ලුවිස් මාමාට දීම දිනපතා පුරුද්දක් නොවූවත්, අප හත්පොලේ දුවපැන ඇවිද කොහොල්ලෑ හෝ අඹකිරි තවරා ගත් විට ඒවායේ කහට ඇපිල්ලීමට අම්මා ලුවිස් මාමාට බාර දෙයි. ලුවිස් මාමා අපුල්ලාගෙන ආවිට රෙදි කැද නිසා කාඩ් බෝඩ් මෙන් ඝනකමට පිහිටයි. අපි ඒවා ඇදීමට බොහෝ ප්රිය කලෙමු.

රෙදි සේදීමට අමතරව ලුවිස් මාමා කුලී වැඩ කලේය. අපේ වත්තේ වත්ත උදලු ගෑම, ගස් වල අතු පෑහීම, පොල් වලවල්, කාණු කැපීම, එලවලු වැවීම ආදී වැඩවලට කුලියට ආවේ ලුවිස් මාමාය. ඔහු වැඩ කරන විට බලාසිටීම අවස්ය නැත. අවංකව, හැකි පමණ හොදින් වැඩේ කරයි . බොහෝ විට තාත්තාද කැත්තක් හෝ උදැල්ලක් අතැතිව ලුවිස් මාමා සමග වැඩ කරන්නේ ඔහු සමග අල්ලාප සල්ලාපයට ඇති ප්රියතාවයට මිසක් වැඩ කරයිදෝ නොකරයිදෝ බැලීමට නොවේ.

කටේ පෙට්ටි සුරුට්ටුවක් වරදින්නේම නැති ලුවිස් මාමා සුරුට්ටුව අතින් නොඅල්ලා බීමට පුරුදු වී සිටියේය. සුරුට්ටුව අතට ගන්නේ නිවා දමීමට පමණි. සුරුට්ටුව ඔහේ දැවී අළු කැඩී බිම වැටෙයි. සුරුට්ටු බී හමාර වූ විට අඹ ලෑල්ලෙන් සැදූ සුරුට්ටු පෙට්ටිය මට ලබාදෙන්නෙ සෙල්ලම් වාහන සෑදීමටය. ඉතා වයෝවෘද්ධ වන තුරුම ලුවිස් මාමා කුලී වැඩ වලට ආවා ගියේය. තාත්තා පවසන පරිදි "යකඩ ඉන්න පොලවේ ගැසූ විට යකඩ ඉන්න වෙනුවට මාමා කැරකවී යනතරමට " අබලන් වනතුරුම මාමා අපේ නිවසට ආවේය; ගියේය.

ගමට පිටගම් කාරයන් වූ අපට නඩු හබද එමට තිබුණි. අවස්තාවල අපට පක්ශව ඇත්ත වෙනුවෙන් සාක්ෂි දීමට තරම් අවංක වූ අතලොස්ස අතරින් එක් අයෙකි, ලුවිස් මාමා. කවුරු මොනවා කීවත් ඇත්ත කතා කිරීමත්,ඇත්ත වෙනුවෙන් පෙනී සිටීමත් මේ මහළු ගැමියාගේ මට සදා අමතක නොවන උදාර ලක්ශන අතරින් පලමු වැන්නයි.

ලුවිස් මාමා පසු කාලීනව ආගමට දහමට නැබුරු වූ දිවියක් ගතකලේය. ඔහු සජීවීව මට අවසන් වරට හමු වූයේ ගමේ පන්සලේ සීල සමාදාන කටයුත්තකදීය. ඉන් සුලු කලකට පසුව, මා ගමේ නොසිටි මොහොතක එතුමා මිය පරලොව ගොස් සිටියේය.

ජයලත් මනෝරත්න මහතා ගායනා කරන " ගම්වල සැමතැන ඇවිද ගොසින්නේ" යන ප්රකට නාට්ය ගීය ඇසෙන විට මට අනවරතයෙන්ම ලුවිස් මාමා සිහිවේ. අම්මා බැලීමට නිවසට යන මම ඇතැම් විට වත්ත පහල ඇති තාත්තාගේ සොහොන අසලට යමි. තාත්තාගේ සොහොන අසලම ලුවිස් මාමා කැපූ කානුවක් තවමත් ඇත. ලුවිස් මාමාත්, තාත්තාත් සිටවූ පොල් පැල දැන් මහ ගස්ය.

Sunday, April 29, 2018

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්


ඊයේ රාත්රියේ දිවියෙන් සමුගන්නට යෙදුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මට මුණ ගැසී ඇත්තේ ජීවිතයේ එක් වතාවක් පමණි. ඉතාමත් අහඹු ලෙසකිනි. එවන් මහා පුරුෂයෙකු එක් වරක් හෝ හමුවීම මා ජීවිතයේ ලද ඉමහත් භාග්යයක් ලෙස අදටත් ප්රණාම පූර්වකව සිහිකරමි.එතුමා ජාතියෙන් සමුගන්නා මේ මොහොතේ මගේ සුළු අත්දැකීම මෙසේ සටහන් කොට තබමි.

විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධිය හදාරන සමයේ සිනමා විචාරය පිලිබද මං පෙතක් අපේ ඇදුරානන් කෙනෙක් වූ රවීන් ගුණරත්න මහතා විවර කර දුන්නේය. මේට්රික්ස් (Matrix) , රෙයිස් රෙඩ් ලැන්ටන් (Raise the red lantern) ආදී සිනමා කෘති විවරනයෙන් පසුව මට සිංහල සිනමාව පිලිබදවද අමුතු ඇල්මක් ඇතිවිය. වන විට ජාතික රූපවාහිනිය ඔස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව , බැද්දේගම, ගම්පෙරලිය ආදී සිනමා කෘති නරඹා එතුමාගේ සිනමා භාවිතාව පිලිබදව කැමැත්තක් මසිත තුල ඇතිවී තිබිනි. 2004 -2005 වසර වල කොලඹ ජාතික පුස්තකාලයේ බැහැර නොදෙන අංශයේ තිබූ සියලුම සිනමා සම්බන්ද පොත් පත් මහත් ඇල්මෙන් කියවීම මම පුරුද්දක් කරගෙන සිටියෙමි. එසේ කියවන අතර "සංදේශය" සිනමා කෘතිය පිලිබදව වූ පොතක්ද මට කියවන්නට ලැබුනි. එහි දර්ශන තල සොයා ගත් ආකාරයත්, චිත්රපටයේ උච්චතම ජවනිකාව වූ බලකොටුව පිපිරවීම ගැනත් මනරම් විස්තරයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සපයා තිබුනි.

එම කෘතිය කියවූ පසු සංදේශය චිත්රපටය නැරඹීමට මට කැමැත්තක් ඇති විය. පිලිබදව සොයා බැලීමේදී චිත්රපටයේ සියලුම පිටපත් 1983 දී ඇති වූ ජාතිවාදී කලකොලාහල වලින් විනාශ වූ බව (චිත්රාගාර ගිනිතැබීම් නිසා ) දැන ගැනීම මට මහත් සංවේගදායක විය. එහි එක් පිටපතක් රුසියාවේ ප්රාග් චිත්රාගාරයේ සුරැකිව ඇති බවත්, එය ශ්රී ලංකාවට ගෙන ඒමට කටයුතු සිදු වෙමින් පවතින බවක් කිසිවෙකු පැවසූ නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මරණය දක්වා එවැන්නක් සිදු වූ බවක් දැනගන්නට නොමැත.

ටික කලකට පසු එක් දිනක් මා පිටකොටුව මල්වත්ත පාරේ යම්  අව්ශ්යතාවයක් සදහා යමින් සිටියදී එක්තරා අයෙක් පැරණි සිංහල චිත්රපට ලෑලි තට්ටුවක විකිනීමට තබා තිබෙන ආකාරය දකින්නට හැකි විය. පැරණි චිත්රපට වලට ඇති කැමැත්ත නිසාම එහි වූ චිත්රපට සී ඩී තැටි ගොඩ ඇවිස්සීමේදී අහම්බෙන් සංදේශය යැයි සදහන් සී ඩී පටයක් මට දක්නට ලැබුනි!. රුපියල් සියයකට මිල කර තිබුනු එහි චිත්රපටයක් තිබුනාදැයි කියා හෝ දැක ගැනීමට තැටි ධාවකයක් එහි නොතිබුනත් චිත්රපටයට ඇති දැඩි කැමැත්ත නිසා එය මිලදී ගන්නට පෙලඹුනෙමි.

වහ වහා නවාතනට පැමිණ පරිඝණක යන්ත්රයේ සී ඩී ධාවකයට සී ඩී තැටි ඇතුල් කර පිරික්සීමේදී ඇත්ත වශයෙන්ම එහි සංදේශය චිත්රපටය ඇතුලත්ව තිබුණි.! චිත්රපටය කොටස් දෙකකට තැටි දෙකක පටිගත කොට තිබූ අතර එය ඉතාම දුර්වල තත්ත්වයේ පිටපතක් විය.ඇතැම් දර්ශන බොදවී, ශබ්දය බිදී ඉතාම දුර්වල තත්වයේ විය. කෙසේ නමුත් එහි සියලුම ගීත මෙන්ම කතාවද වටහා ගත හැකි මට්ටමක පැහැදිලි තත්වයේ තිබිනි. එසේම ච්ත්රපටයේ උත්ප්රාස දර්ශනය වන බලකොටුව පිපිරවීමේ දර්ශනයද ඉතා හොදින් අඩංගු වී තිබුනි. මට ඇති වූ සතුට නිම් හිම් නැති විය.
චිත්රපටය නැරබීමෙන් අනතුරුව එහි ඇති දුර්ලභතාවයත් දැන සිටි නිසා එම පිටපත ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට ලබාදීමට හැකිනම් කොතරම් අගනේද යන සිතුවිල්ල මසිත තුල ඇති විය. අනුව මේ චිත්රපටය පිලිබදව විමසීම් මා මිත් නිමල් ලක්ෂපතිආරච්චි මහතා (නැසී ගිය ), වජිර නාගොඩවිතාන මහතා සහ හසන්ත හෙට්ටි ආරච්චි මහතාගෙන් විමසන ලදුව ඔවුන් සදහන් කලේ එම චිත්රපටය ඔවුන් කිසිදා නරඹා නොමැති බවත් අව්ශ්යනම් එය ජාතික චිත්රපට සංස්තාව හරහා සුමිත්රා පීරිස් මහත්මියට ලබාදිය හැකිබවය.

කෙසේ නමුත් මට අව්ශ්යව තිබුනේ පුද්ගලිකව එය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට ලබාදීමයි. අවසාන වශයෙන් ජාතික චිත්රපට සංස්තාව ඇමතීමෙන් පසු සුමිත්රා පීරිස් මහත්මියගේ දුරකතන අංකය ලබාදෙන්නට ඔවුන් කාරුණික විය.
පසුව සුමිත්රා මහත්මිය ඇමතීමෙන් පසු එතුමන්ලා හමුවීමට වේලාවක් ලබාදීමට එතුමිය කටයුතු කලේය.

එලෙස යොදාගත් වේලාවකට අනුව 2007 වසරේ එක් වැසිබර සැන්දෑවක මම පීරිස් යුවල පදිංචි ඩික්මන් පාරේ තනි මහල් නිවසට ගියෙමි. ඩික්මන් පාරේ පිහිටි එම නිවස මෑතකදී අයිතිකරුවන් විසින් ව්යාපාරික කටයුත්තක් සදහා විකුණා දමා ඇත යන සංවේගදායී පුවත මෑතකදී අසන්නට ලැබිනි. පීරිස් යුවලත්, එක් සේවකයෙකුත් පමණක් සිටි එම නිවසේ පැරණි තාලේ ගෘහ භාන්ඩ පිරී පැවතිනි. කෙටි පිලිසදරකින් පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවීමෙ භාග්යය මට උදා විය. එතුමා වන විටද සිටියේ අසනීප තත්වයෙනි. ගිලන්ව ලෙඩ ඇදක සිටියත් එතුමා සිනමාවට සම්භන්ද යම් කිසි කෘතියක් පරිහරනය කරමින් සිටි බව මට මතක ඇත. සංදේශයේ දුර්වල තත්ත්වයේ පිටපතක් ඇති බව එතුමා අසා තිබුන මුත් එය නැරඹීමේ අවස්තාව එතුමාට නොලැබුනු බවත් එතුමා පැවසුවේ ඉතා සතුටිනි. එතුමාට එම චිත්රපටය එවේලේම නැරඹීමට අවස්ය වුවත් සදහා ක්රියාත්මක තත්වයේ සීඩී වාදක යන්ත්රයක් නිවසේ නොවීය.  මා සතුව තිබී ජංගම පරිඝනකය ආධාරයෙනෙම චිත්රපටය රසවිදීමට අවසානයේ අප තීරනය කලෙමු. සේවකයා විසින් ගෙන  එනලද තේ පැන් සංග්රහයක් රස විදිමින් ලෙස්ටර් මහතා ඉදිරියේ පුටුවක රදවන ලද පරිඝනකයේ තිරය හරහා සංදේශය නැරඹීම සුන්දර අත්දැකීමක් විය.

චිත්රපටයේ පිටපතේ වූ බොහෝ අඩුලුහුඩු කම්ද එතුමා පෙන්වා දුන්නේය. ඇතැම් දර්ශන මුළුමනින්ම අතුරුදහන්ව තිබූ අයුරුත්, චිත්රපටයේ අවසානයට යොදා තිබූ නාමාවලිය මුලට යොදා තිබූ ආකාරයත් එතුමා පෙන්වා දුන්නේය. චිත්රපටයේ රගපෑ වන විට ජීවිත රගමඩලෙන් සමුගෙන සිටි ගාමිනී ෆොන්සේකා මහතා සහ ආනන්ද ජයරත්න මහතා පිලිබදව සිහිකැදවීමට එතුමා අමතක නොකලේය. වසර 11 කට පෙර සිදුවූ ඇතැම් කතාබහ මටද අමතකව ගොස් ඇත. එහෙත් එතුමා වසර 50 කට පමණ පෙර අද්යක්ශනය කල සංදේශය චිත්රපටය ගැන එතරම් වයෝවෘද්ධ වියේදී පවා මනරම් මතක ගොන්නක් සිහිතබා ගෙන සිටියේය.

චිත්රපටය නැරබීමෙන් පසුව සී ඩී තැටි ලෙස්ටර් ජීම්ස් පීරිස් මහතාට පිරිනමා එතුමාට ආචාර කොට සොම්නස් සිතින් මම පිටවී ආවෙමි. එතුමාට පිරිනමන්නට පෙර පිටපත් කරගත් චිත්රපටය තවමත් මා සතුව ඇත. ප්රාග් චිත්රාගාරයේ තිබූ පිටපතට වූ දෙයක් තව දැනගන්නට නොමැත.

එතුමාට නිවන් සුවයම අත් වේවා !